තොරතුරු තාක්ෂණ පද්ධති අතර අන්තර් ක්‍රියාකාරීත්වයෙහි වැදගත්කම

මේ වන විට ලංකාවේ සියළුම රාජ්‍ය ආයතන තම කාර්යයන් කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ඉතා බහුල ලෙස භාවිතා කරනු ලැබේ. නමුත් සාමාන්‍යයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති නිර්මාණය කිරීමේදී සිදුවනුයේ ඒවායේ දත්ත පද්ධතියෙන් පද්ධතියට අනන්‍යය වන ආකාරයෙන් සකස් කිරීමයි. එවිට එකම ක්ෂේත්‍රයේ තොරතුරු තාක්ෂණ පද්ධති දෙකක ක්‍රියාත්මකවන එකම ආකාරයේ දත්තයන්ගේ ප්‍රමිතීන් (Standards) දෙයාකාර විය හැකිය. උදාහරණයක් ලෙස, 'කෘෂි භෝගය' (Crop) එක් පද්ධතියක 'පැලෑටිය' (Plant) ලෙසද, තවත් පද්ධතියක 'වෙළඳ භෝගයක්' (Commodity) ලෙසද නම් කර තිබිය හැක. යම් අවස්ථාවක මෙම තොරතුරු තාක්ෂණ පද්ධති අතර දත්ත හුවමාරු කර ගැනීමට අවශ්‍ය වුවද එකම දත්තය පද්ධති දෙකෙහි ප්‍රමිතීන් දෙකකින් තිබීම හේතුවෙන් දත්ත හුවමාරුව සිදු කිරීම අපහසු වනු ඇත. එලෙසම වෙනස් ක්ෂේත්‍ර අතරද තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතා නිතර පැන නගී. එහෙත් ඒ ඒ ක්ෂේත්‍රවල ක්‍රියාත්මකවන පද්ධති වෙනස් ප්‍රමිතීන්ගෙන් දත්ත පවත්වාගෙන යන්නේ නම් ඒ ඒ පද්ධති අතර දත්ත හුවමාරු කරගැනීම අසීරු කාර්යයකි. රාජ්‍ය ආයතන මෙන්ම, විවිධ රාජ්‍ය ආයතනවලින් සේවය ලබාගන්නා පොදු ජනතාව නිරන්තරයෙන් අපහසුතාවයට පත්වී ඇති මෙම තාක්ෂණික ගැටළුවට විසදුමක් ලෙස රජය විසින් 'ලංකා අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව' (Lanka Interoperability Framework- LIFe) නමින් තොරතුරු තාක්ෂණ දත්ත ප්‍රමිතීන් පද්ධතියක් හදුන්වා දෙන ලදී.

අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව

ලංකා අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව (LIFe) රජයේ තොරතුරු තාක්ෂණ පද්ධතිවල අන්තර් ක්‍රියාකාරීත්වය (Interoperability) සහතික කිරීම පිණිසවූ දත්ත ප්‍රමිති (Data Standard) මාලාවකි. අන්තර්ක්‍රියාකාරී හැකියාව යනු නොයෙක් ආයතනවල විවිධාකාර තොරතුරු පද්ධතිවලට අවහිරයකින් තොරව එක්ව ක්‍රියාකිරීමට ඇති හැකියාවයි.

රජයේ අත්‍යන්ත අරමුණු වනුයේ සෑම රාජ්‍ය ආයතනයක්ම එකම ස්ථානයකින් සියලු සේවා සැපයීමයි. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස සියලු රජයේ ආයතන ඉලෙක්ට්‍රොනිකව සහ ක්‍රියාදාම අනුව සම්බන්ධ කරන්නා වූ සබැඳි රජයක් (Connected Government) නිර්මාණය කිරීම අවශ්‍ය වේ. සබඳ රජයකට එකම ස්ථානයකින් සේවා සැපයීම සඵලව ක්‍රියාත්මක කිරිම සඳහා රාජ්‍ය ආයතන පද්ධති හරහා තොරතුරු බෙදාහදා ගැනීම සහ හුවමාරු කරගැනීම අවශ්‍ය වේ. මේ සඳහා ආයතන සීමා මායිම් ඉක්මවා රාජ්‍ය ආයතනවල පොදු අරමුණු පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සහ බෙදාහදා ගැනිම සහ පොදු ප්‍රමිති ස්ථාපිත කිරිම උදෙසා සාමූහිකව කටයුතු කිරීම අවශ්‍ය වේ. ඒ අනුව රාජ්‍ය ආයතන සිය තොරතුරු තාක්ෂණ පද්ධති අතර දත්ත හුවමාරු කරගැනීම පිණිස අන්තර් ක්‍රියාකාරී හැකියා යාන්ත්‍රණ සකස් කරගැනීම ද අවශ්‍ය වේ. රාජ්‍ය ආයතන විසින් සකස් කරනු ලැබූ විවිධ තොරතුරු පද්ධති අතර අතුරු මුහුණත් සම්පූර්ණයෙන්‍ම අවබෝධ කරගනු ලබන බව සහ සහ ඒවායේ  පද සංයෝජනීය සහ අර්ථ විචාර යන දෙයාකාර අන්තර් හැකියා ක්‍රියාකාරිත්වය සහතික කිරීම කෙරෙහි අන්තර් ක්‍රියාකාරී හැකියා රාමුව අවධානය යොමු කරයි.

මේ යටතේ පුද්ගල දත්ත, රථවාහන දත්ත, සංවර්ධන ව්‍යාපෘති දත්ත සහ ඉඩකඩම් දත්ත සම්බන්ධව දත්ත ප්‍රමිතීන් හඳුනාගෙන නිලවශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

Scroll To Top